"මේ බලන්නකෝ පුතේ.. ඩිස්නිලන්තේ කියලා රටක අගමැති කෙනෙක් මහ බැංකු හොරකමකට කොමිසමකට ගිහිල්ලා සාක්කි දීලානේ..." තාත්තා පත්තරේ බලන ගමන් කිව්වා..
"ම්ම්.... " පොඩි අයියත් ඔළුව දැම්මා..
"මොනව වුනත් භය නැති අගමැති කෙනෙක්.." තාත්තා කිව්වා..
"ඔව්.. භයක් කියලා දෙයක් තිබ්බනම් මහ දවල් ඔහොම මහ බැංකුව කොල්ල කයියෑ"
"මොකක්?" තාත්තා උඩ ගිහින් අයියා දිහා බැලුවා.. "අම්මපා .. ඒකත් හරි.. ඩිස්නිලන්තේ භය නැති කම අගමැති කමටත් වඩා ලොකුයි මට පේන්නේ.... "
"දැන් ඔය පත්තරේ තියෙනවද ඕක හොයන්න පත් කරපු කෝප් කමිටුවේ සෙට් එකක් චූදිතයෝ එක්ක දිගට හරහට දුරකතන සංවාද තිබිලා තියෙනවා කියලා?"
"කෝ බලන්න.. ආ.. ඔව් මේ තියෙන්නේ.. ඇත්තටම මොනවද එයාලා කතා කරන්න ඇත්තේ?"
"නිකන් සැපදුක් වෙන්න ඇති... දැන් ඔතන එහෙම හොරකමක් වුනේ නෑ කියලා පොතකුත් ලියපු හාදයෙක් ඉඳලා තියෙනවනේ?"
"ඔව් ඔව්... මේ තියෙන්නේ.. හරි.."
"දැන් එයාගේ ටෙලිෆෝන් කෝල් තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ.. ඔන්න බලන්න.."
-------
එයා - හලෝ... ඇලෝ... කොහොමද.. මම මේ පොතක් ලියනවා .. ඔයා හොරකම් කලාද?
ඇලෝ - නෑ.. නෑ.. පිස්සුද?
එයා - ආ හරි.. තිබ්බා..
ආයේ දවසක්...
එයා - හලෝ... ඇලෝ... කොහොමද.. මම මේ පොතක් ලියනවා .. ඔයා හොරකම් කලාද?
ඇලෝ - නෑ.. නෑ.. පිස්සුද?
එයා - ආ හරි.. තිබ්බා..
ආයෙත් දවසක්...
එයා - හලෝ... ඇලෝ... කොහොමද.. මම මේ පොතක් ලියනවා .. ඔයා හොරකම් කලාද?
ඇලෝ - නෑ.. නෑ.. පිස්සුද?
එයා - ආ හරි.. තිබ්බා..
---------
"ඔය වගේ 48 වතාවක් කතා කරලා ශුවර් කරගෙන හොරකම් කලේ නෑ කියලා... බලන්න කොච්චර සුන්දරද කියලා" පොඩි අයියා කිව්වා..
"ආ... ඒකත් එහෙමයි එතකොට නේ... "
"මොකද්ද ඔය රට කිව්වේ?"
"ඩිස්නිලන්තේ කියලා එකක්.. යුරෝපේ පැත්තේ.."
"ආ.. එහෙත් එහෙමද....?"
"ඇයි මෙහෙත් එහෙමද?" තාත්තා කුතුහලෙන් ඇහුවා..
"නෑ... මෙහෙ එහෙම වෙන්නේ නෑ.. මෙහේ යහපාලනේ නේ.... අර නන්දා මලනීගේ සින්දුවක් තියෙන්නේ ..
--- රැකෙයි අකුරට නීතිය .. දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වී ඇත
නැත අක්‍රමිකතා .. වැඩෙයි සුහදතා .. සුන්දරතා .. සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්
මේ කේතුමතී නුවරයි! ---

No comments:
Post a Comment