Friday, January 5, 2018

භූතයා



පහු ගිය පෝය දවසේ හිච්චි කොලුවා යාළුවෙක් එක්ක රෑ පන්සල් ගිහින් කැලෑ පාරකින් ගෙදර එනවා. පොඩි බෝතලයක් තියෙනවා පාර අයිනේ. නිකන් ඉන්න බැරුවට අපිත් ඇරලා බැලුවා. 
"බුවහහා.... මම බූතයෙක්.. අවුරුදු ගාණක් මේක අස්සේ හිර වෙලා හිටියා.. මාව එළියට ගත්තට මොනවද ඔහෙලට මගෙන් ඕන...."
අපි බය වෙලා බලාගෙන හිටියා.. 
"බය වෙන්න එපා.. මට පුළුවන් කාලය හරහා ගමන් කරන්න.. කැමති නම් මම ඉතිහාසය වර්තමානය අනාගතයට එක්කගෙන ගිහින් එන්නම්.. "
"ඒ.. ඒක මරු වැඩේ.. යන්ද ගිහින් එන්න.. " යාළුවා ඇහුවා...
"යන් යන්..." හිච්චි කොලුවත් කිව්වා..
"හරි.. එන්න මාත් එන්න අල්ල ගන්න මාව... ඔන්න අපි යනවා ගොඩාක් ඈත අතීතෙට..." 
"ශූස් ... දඩස්".. අපි හිටියේ මුහුදු වෙරළක.. නැවක් ඇවිත් කට්ටියක් බැහැල එනවා... 
"ඒ තමයි.. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්.. බුදු හාමුදුරුවන්ගේ කේශ ධාතුත් අරන් ඔය නැවෙන් බැහල එන්නේ.." භූතයා අපේ කුතුහලේ දැකලා කිව්වා..
"සාදු .. සාදු" 
"තව ටිකක් අනාගතේට යන්... ශූස් දඩස්!" 
ආයෙත් මුහුදු වෙරළක.. "ඔය නැවෙන් බැහල එන්නේ විජය කුමාරයා ඇතුළු පිරිස." 
"අඩේ අප්පා.. විජය කුමාරයගේ හැටි.. හෙන හොරෙක් වගේ..." යාළුවා කිව්වා..
"ඒක තමයි තාමත් අපේ රජවරු.. ආණ්ඩු කරන උන්දෙලා හොරා කන්නේ.. " හිච්චි කොලුවගේ ඉතින් කට කහනවනේ... 
දැන් ඔහොම ටික ටික ඉස්සරහට එනවා.... 
"ආන්න ඔය සෙනඟ බලාගෙන ඉන්නේ සංගමිත්තා තෙරණින් වහන්සේ ස්‍රී මහා බෝධියත් අරගෙන ලංකාවට වැඩම කරනකම්.. ඔය එන්නේ නැව.. " (ශූස් දඩස්)
"අපි දැන් ඉන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ.. අර හාල් පිට රට පටවන්නේ.." (ශූස් දඩස්)
"ඔය විජයබාහු රජුරුවො මුහුද දෙබෑ කරන් එන්නේ ඉන්දියාව එක්ක යුද්ධේ දිනලා.." (ශූස් දඩස්)
"ආන්න ඔය එන්නේ .. චීන අරබී වෙළන්දෝ.. මේ රටෙන් ගොඩක් දේවල් මිලට ගන්න.. " 
අපි තව ඉස්සරහට එනවා. (ශූස් දඩස්)  
"අර කවුද අර... ?"
"ආ .. ඔය පෘතිගීසි නැව .. ලොරොන්සෝ ද අල්මේදා.. ඔන්න ගොඩ බහිනවා.." 
"අඩේ... යන් තව ඉස්සරහට..." (ශූස් දඩස්)
"ඔය මිනිස්සු බලාගෙන ඉන්නේ ලන්දේසි එනකන්.. පෘතුගීසීන් එලව ගන්න.. " (ශූස් දඩස්)
"ආ දැන් ඔය මිනිස්සු බලාගෙන ඉන්නේ ඉන්ග්‍රීසින් එනකම් .. ලන්දේසි එලව ගන්න.." (ශූස් දඩස්)
"ආන්න.. ඔය සුද්දෝ ආපහු නැව් නගිනකම් බලන් ඉන්නේ.. " 
"කවුද අර ටයි කෝට් දාලා තොප්පි දාගෙන ඉන්න කට්ටිය..?" හිච්චි කොලුවා ඇහුවා.
"ඒ... සුද්දෝ යනකොට මේ රට බාර දීලා යන කළු සුද්දො ටිකනේ.." 
ඔහොම ඉතිහාසේ පුරාවට වෙච්ච දේවල් බල බල අපි ඉස්සරහට ආවා. ඇවිත් ආපහු වර්තමානෙට ආව. 
"ශහ්.. ඒකනම් මරු ගමන.. අනේ බූතයෝ.. අපි පොඩ්ඩක් ඉස්සරහටත් ගිහින් බලමුද.. නිකන් හෙට අනිද්ද වෙන්නේ මොකද වගේ?" යාළුවා කිව්වා.. 
"හරි යන්.. " (ශූස් දඩස්) අපි දවස් දෙක තුනකට ඉස්සරහට ගියා.. 
"මේ මොකද මේ.. ඇයි මේ මිනිස්සු මුහුද දිහා බලාගෙන ඉන්නේ..?"
"හහ් හහ් හහ්.. ආ ඔය තෙල් නැවක් එනකම්..." 
"තෙල් නැවක්? ඒ මොකද .. එහෙම අවුලක් තිබ්බේ නෑනේ.."
"හහ් හහ්... ලංකාවේ තෙල් වෙළඳපොල ඉන්දියාවට විකුණලා තියෙන හින්දා, ඉන්දියන් තෙල් සමාගම තෙල් නැවක් පොරොන්දු වෙච්ච විදියට එවන්නේ නැතුව, ලංකාවටම තෙල් නෑ.. භූතයෙක් වුනත් මටත් මේවා තේරෙනව ළමයිනේ.. ඉන්දියාවට පුළුවන් මුළු රටම අඩපණ කරන්න .."
"මේක මහ අපරාධයක් නේ.."
"මේ අපරාදේ වුනේ අදක ඊයෙක නෙමේ.. හැබැයි ඒක නැවතිලානම් නෑ.. යමු මම මීට වඩා හොඳ එකක් පෙන්වන්න.. "
(ශූස් දඩස්) අපි ගියා තව අවුරුදු 25 ක් විතර ඉස්සරහට..
මහ සෙනඟක් මුහුද දිහා බලාගෙන ඉන්නවා. 
"මේ මොකද .. මේත් තෙල් නැවක් එනකම් ද?"
"නෑ.." භූතයා දුකෙන් කිව්වා. 
"එහෙනම්.." 
"ඔය සතියක් තිස්සේ කන්න දෙයක් නැතුව ඉඳලා සහණාධාර නැවක් එනකම් බලන් ඉන්නේ.."
"ඇයි ? කොහොමද කන්න නැති වුනේ? රටේ නියඟයක්වත් ද?" 
"අපෝ නෑ.. ඒක තමයි නිදහසට පස්සේ මේ වෙනකම් මේ රට පාලනය කරපු පාලකයෝ අපි මේ ඉන්න දවස වෙනකොට මේ රට ගෙනල්ල තියෙන තැන.. රටින් එන කෑම ටික නැති වුනොත් මේ දූපතේ මිනිස්සු අනාතයි!.. හ්ම් තව ඉස්සරහට යනවද?"
"අනේ එපා.. තව මොනව දකින්න වෙයිද දන්නේ නෑ...  ඉක්මනට ආපහු යමු.."
(ශූස් දඩස්)

No comments:

Post a Comment

කඩුව

"ක්‍රාස්.. ක්‍රාස්.. කරාස්... කරාස්.. කෲස්... කෲස්...." එතුමාගේ ගෙවල් පැත්තෙන් යනකොට මොකක්දෝ සද්දයක් ඇහෙනව. ටිකක් අමුතු ස...