Friday, January 5, 2018

කඩුව



"ක්‍රාස්.. ක්‍රාස්.. කරාස්... කරාස්.. කෲස්... කෲස්...."
එතුමාගේ ගෙවල් පැත්තෙන් යනකොට මොකක්දෝ සද්දයක් ඇහෙනව. ටිකක් අමුතු සද්දයක් නිසා පොඩ්ඩක් ඇතුලට ඔළුව දාලා බැලුවා. කවුරුත් නෑ පේන්න.. ගෙදරත් කවුරුත් නෑ වගේ.. සද්දේ එන්නේ ගේ පිළිකන්න පැත්තෙන්... හිච්චි කොලුවත් හෙමින් හෙමින් කිට්ටු කරල බැලුවා.. එතුමා සරමත් කැහැපට ගහගෙන මොකක්දෝ එකක් කළු ගලක අතුල්ලනවා..
"එතුමෝ.. එතුමෝ.."
"ආහ් මේ හිච්චි කොලුවානේ.. මොකෝ මේ පැත්තේ.."
"සද්දයක් ඇහුන නිසා බැලුවේ.. "
"අප්පා.. මේ සද්දේ පාරටත් ඇහෙනවද? මම මේ අර මඩුව අස්සේ දාලා තිබ්බ කඩුව අරන් මුවහත් කරන්න ගත්තා.."
"ඒ මොකෝ හදිසියෙම... අපි නම් හිතන් උන්නේ මේ කඩුව නැති වෙලා කියලා..."
"යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න ද හිටං"
"යුද්ධේ ??? ඇයි ඒ පාර ආයේ යුද්ධයක්ද?"
"නෑ නෑ.. මම කිව්වේ දැන් ඉතින් කඩුව අතට ගන්න කාලේ හරි කියලා හිතුණා.."
"නිකන් බලන් ඉන්නවට වඩා කඩුව අතට ගන්න එකනම් හොඳයි.. ඒත් මොකෝ මේ එක පැත්තක් විතරක් මදින්නේ? අනික බාගෙට නේ මුවහත් කරන්නේ.."
"අ.. අ...  නෑ.. නෑ ඉතින් අර බැදුම් කර වෙච්ච හොරකම කරපු අය තමයි ඉතින්... " 
"ඉතින් බාගෙට මදින්නේ?"
"ඇයි කොළුවෝ ඕක තේරෙන්නේ නැද්ද? ගොඩක් මුවහත් වුනොත් ගොඩක් අය කැපෙනවනේ.. එහෙම කරල කොහොමද?"
"ඔහ්හෝ.. ඔබතුමා හදන්නේ මේ පොඩි අතු රිකිල්ලක් දෙකක් කපලා, ලොකු අතු ශේප් කරන්න?"
"කට කට.. උඹත් දැන් පැහිලා වැඩියි.. උඹේ අයියා තමයි උඹවත් නරක් කරන්නේ!"
"එහෙම නෙමේ නේ එතුමා.. කඩුව මදිනවනම් දෙපැත්තම හොඳට මදින්න එපැයි.. අනික ඔබ තුමා කඩුව ඇත්තටම අතට ගන්නවනම් එක පැත්තක් දෙපැත්තක් නෙමේ.. තුන් පැත්තක් කැපෙන කඩුවක් හදා ගනන් වෙයි.."
"තුන් පැත්තක්? කවුද කොළුවෝ ඒ.."
"ඔබ තුමාට දැන් මතකයත් හීන වේගෙන එනවද? ඇයි .. බැදුම් හොරකම් කරපු උදවිය, එතකොට පහුගිය කාලේ එක එක හොරකම් කරල ඔබතුමා අස්සේ රිංගගෙන ඉන්න උදවිය.. අනිත් කට්ටිය අර.. ඔබතුමා පැය 24න් එයාර්පොර්ට් වහලා කපලා දානව කියපු ඔය මොට්ටු තියන්න එන උදවිය?"
"පිස්සු කියවන්න එපා කොලුවෝ.. ඒ අය කපලා කොහොමද..."
"ඇයි?"
"ඇයි කියන්නේ .. ඔහොම කපන්න ගියොත් මොකාද ඉතුරු වෙන්නේ..."
"ඒ වුනාට ඔබතුමා මහ ලොකුවට කිව්වේ.. මේ මගේ අවසාන ඉපදීම.. සොරි.. මේ මගේ අවසාන වාරය.. මම කුණු ඔක්කොම සුද්ද කරනවා.. කියලනේ... ඇයි මේ දැන්?"
"මේ කොලුවෝ... උඹට මම.. දුවපන් මෙතනින් මගෙන් කඩු පාර නොකා.. ආවා මෙතන පණ්ඩිත කතා කියන්න.. උඹේ වයසට ඉඳින්..."
එතුමට කේන්ති ගිහින්... දුවපන් කකුල් දෙක දුවපන් කියලා හිච්චි කොලුවත් දුවන්න ගත්තා.. කකුල් දෙක දිව්වත් කටට බ්‍රේක් නෑ නොවැ.. 
"ඔබතුමා කැපුවෙ නැතොත්.. වැඩි කල් යන්න කලින් මිනිස්සු ඔබතුමාව කපලා දායි... " 
දඩස්....

සිහිය එන කොට හිටියේ ගෙදර ඇඳ උඩ.. අවුලක් නෑ පොඩි තුවාල ටිකක් තියෙන්නේ...

කුරුමිණියා



"කුරුමිණියෙක් .. කුරුමිණියෙක්... හයියූ .... මාර වැඩේ!"
"මොකද තුමෝ.. ඔබතුමත් කැරපොත්තන්ට කුරුමිණියන්ට බයද? ගෑණු ළමයෙක් වගේනේ!"
"බම්බුව!.. ඒ කෙහෙල්මලක් නෙමේ... මේ කුරුමිණියා අපිව ඉවර කරයි වගේ.. හිටං!"
"මොනවද තුමෝ කියන්නේ? මට නැහැ මොකවත් තේරෙන්නේ... "
"රුසියාවට යවපු තේ වගේක කුරුමිණියෙක් ඉඳලා...  අන්න රුසියාව අපෙන් තේ ගන්න එක නවත්තනවලු !! වහාම අදාල නිළධාරීන්ට එන්ට කියනවා..."
ටිකකින්...
"ආ.. මේ ඇවිත් ඉන්නේ.. දැන් මොකද්ද තමුන්ලා මේකට ගත්ත ක්‍රියා මාර්ගේ.."
"ආ හරි සර්.. කුරුමිණියා බලලා එන්න අපි කට්ටියක් යවනවා..  එයාලා ගිහින් ආවම ඇමතිලා ටිකක් යනවා කිව්වා.. එයාලත් ආවම තව කට්ටියක් යනවා.. එයාලට පස්සේ තව කමිටුවක් යවනවා... එයාලට පස්සේ... "
"අයිසේ ...තමුන් හිතුවද මේක වන්දනා ගමනක් කියලා.. ඔය හැමෝම යන්නේ?"
"නෑ සර් ඉතින්.. කළාතුරකින් නේ මෙහෙම චාන්ස් එකක්.."
"චාන්ස්... නවත්ත ගන්නවා.. දැන් ඕකෙන් ප්‍රශ්නේ විසඳෙනවද?"
"නෑ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ.. "
"එහෙනම් මොන එහෙකටද මේ යන්නේ..? ප්‍රශ්නේ විසඳන්න මොකද්ද කරන්නේ දැන්..?"
"මොනවා හරි කරනව කියලා පෙන්නනත් එපැයි සර්.. අපේ රටේ දැකලවත් නැති කුරුමිණියෙක් ඕකේ හිටියා කියන එකේ ප්‍රශ්නේ විසඳන්න එක ක්‍රමයයි තියෙන්නේ..  ඇස්බැස්ටොස් තහනම අයින් කරානම් ඉවරයි!"
"එහෙම කොහෙද ... පරිසරයට අහිතකර ඒවා.. ඒවා හරියන්නේ නෑ අපිත් එක්ක.."
"සර්.. සර් .. කෝල් එකක්.."
"පේන්නේ නැද්ද .. මම වැඩක් කියනවා.."
"සර් .. කවුරු හරි ලොක්කෙක් වගේ..."
"මට වඩා ලොක්ක කවුද.. දෙනවා බලන්න මෙහෙට.. හලෝ.. කවුද මේ.... ඈ.. කියනවා අයිසේ.. මොකක්.. පුටින්? පුටින් බැරිනම් මැටීන් උනත් .. ඔහ්.. පුටින් .. යියස් සර්.. නෝ සර්.. ඇස්බැස්ටොස් සර්.. යෙස් සර්.. කුරුමිණියා සර්.. ඕකේ සර්... ඔකේ.. බායි.. බායි..."
"මොකද සර්.."
"පුටින් .. පුටින්... මේ කැබිනට් එකට කියනවා ඇස්බැස්ටොස් තහනම ලිහිල් කරන්න කියලා... "
"එතකොට සර් පරිසරේ..."
"පරිසරේ .. පරිසර ඇමති බලා ගනී.. තමුන් තමුන්ගේ වැඩේ කරනවා... "
"හහ් හහ්.. හහ්.. හහ්.. ඉතින් ඔයැයි නේ පරිසර ඇමති... මෙයාට ඒක මතකත් නෑ.. දැන් ඔයාලා ජාත්‍යන්තරේ එහෙම ජය ගත්තැයි කිව්වා නේද? කෝ වැඩ.. " හිටපු එතුමා ඇවිත්...
"අනේ මේ.. අපේ වැඩ බලන්න කලින් ගිහින් ඔබතුමාගේ ගෝල බාලයන්ට කියන්න අර නාම යෝජනා කොළ ටික හරියට පුරවල බාර දෙන්න කියලා.. අත්සන් නෑ.. අත්සන් තියෙනවා නම් නෑ.. එකක් කපල තව එකක් ලියලා.. ඒක උඩ ටිපේක්ස් උලලා.. පොඩි උන් චිත්‍ර ඇඳලා වගේ..  හරියට කොලේ බලල අත්සනක් ගහ ගන්න බෑ.. ඒකට මොකෝ ගම හදන්න රට හදන්න කතාව... "
හිටපු එතුමා ආපු වේගෙට අපහු ගියා.. එතුමා බැන බැන ගෙට ගියා... 
සැ. යු: මෙය මාලදිවයිනේ සිදු වූ කතා බහක් බව කරුණාවෙන් සලකන්න.. 

යන්න ගියා මැකිලා


"උන් යන්න ගියා මැකිලා..... ඉහි ඉහි.. උන් යන්න ගියා මැකිලා...  ගී ගයමින් ඉඳ මා තුරුලේ.. උන් යන්න ගියා මැකිලා... ඉහි ඉහි.." පාර්ලිමේන්තුව ගාව බෝක්කුවක් උඩට වෙලා ඉකි ගහන්නේ කවුද කියලා බැලුවා..
"හප්පේ මේ වංශ අයියා නේ.. මොකෝ අප්ප මේ.. මොකෝ මේ බීලා වැඩි වෙලාද?"
"වැඩක් නෑ මල්ලි.. උන් ගියා.. තව යනවලු.. මං තනි වුනා මල්ලි... ඇරත් මුන් මගේ රෙදි ගලවනවනේ... "
"ගණං ගන්න එපා අයියේ .. ඕවා ඔහොම තමා.. මොකෝ ඕවා අයියට අළුත් දේවල්යැ.. අයියා කලේත් ඔය ටිකමනේ.."
"ඒ වුනාට මල්ලි.. එහම කොරන එක හරි නෑනේ.. දැන් පොළවේ පස් කන්න වෙලා තියෙන්නේ... රෙද්දක් ඇඳන් පාරේ බැහල යන්නේ කෝමද මල්ලි.. ඉහි ඉහි... "
"ඔහොම තමයි අයියේ... එළිපිට බැණ බැණ.. රහසේ එයාලගේ ප්‍රොජෙක්ට් කරනන් ගියාම ඔහොම දේවල් වෙනවා... ඩබල් ගේම් හැමදාම බෑනේ.."
"අනේ මගෙන් මොකුත් නාහා ඉඳහන් කොලුවෝ... ඉහි ඉහි.. අද තනියෙන් මා.. අඬන්නේ නෑ මා.. මා දමා උන් ගියා කියා... ඉහි ඉහි ඉහි...."
"අපිටත් දවසක හඳ පායනවා.. එදා අපිත් මල් පැණියෙන් නානවා... ලා.. ලා.. ලා..." 
"කවුද ඒ පාර.. ආහ් මේ වාශ් නේ.. "
"අඩේ වංශ අයියා.. මොකෝ මේ ගල් කණුවක් බදාගෙන ෆුල් අප්සට් මූඩ් එකේ.. ? "
"අන්තෝ ජටා .. බහි ජටා වාශ් .. ඇයි ආරංචි නැද්ද? ... අපි අමාරුවේ වැටුනම උඹලට හිනා.."
"ආරංචියි අයියා.. ආ ආරංචියි..! හිනා වුනා නෙමේ.. පරණ පිණක් මට හිසේ කඩාගෙන වැටුනා.. අහ් වැටුනා.."
"මොකක්..?"
"මං පහු ගිය කාලේ යටි මඩි ගහපුව ගැන ඇහුවා... මම කිව්ව මම දන්නේ නෑ කියලා.. එතකොට .. වත්කම් හෙළි කලේ නෑ කියලා රුපියල් 1000 ක් දඩ ගැහුවා මල්ලි.. වැඩේ ශේප්!.. අයියත් ඉතින් ඕවා ගොඩ දාගන්න විදිය නොදන්නවා නෙමේනේ.."
"දන්නවා දන්නවා... "
"වංශ අයියා නැගිට්ටේ යනන්ද?" හිච්චි කොලුවා ඇහුවා..
"නැතුව ඉතින් මෙතනට වෙලා හූල්ල හූල්ල හිටියා කියලා ලැබෙන දෙයක් නෑනේ.. කතාවක් හදා ගන්නත් ඕන මල්ලි.. ඡන්දෙත් එනවනේ.. මල්ලි ගෙදර අයට කියන්න 'මොට්ටුවට' ඡන්දේ දෙන්න කියලා... "
"වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.. කියලා තමයි අයියා ඕවට කියන්න තියෙන්නේ.."  

භූතයා



පහු ගිය පෝය දවසේ හිච්චි කොලුවා යාළුවෙක් එක්ක රෑ පන්සල් ගිහින් කැලෑ පාරකින් ගෙදර එනවා. පොඩි බෝතලයක් තියෙනවා පාර අයිනේ. නිකන් ඉන්න බැරුවට අපිත් ඇරලා බැලුවා. 
"බුවහහා.... මම බූතයෙක්.. අවුරුදු ගාණක් මේක අස්සේ හිර වෙලා හිටියා.. මාව එළියට ගත්තට මොනවද ඔහෙලට මගෙන් ඕන...."
අපි බය වෙලා බලාගෙන හිටියා.. 
"බය වෙන්න එපා.. මට පුළුවන් කාලය හරහා ගමන් කරන්න.. කැමති නම් මම ඉතිහාසය වර්තමානය අනාගතයට එක්කගෙන ගිහින් එන්නම්.. "
"ඒ.. ඒක මරු වැඩේ.. යන්ද ගිහින් එන්න.. " යාළුවා ඇහුවා...
"යන් යන්..." හිච්චි කොලුවත් කිව්වා..
"හරි.. එන්න මාත් එන්න අල්ල ගන්න මාව... ඔන්න අපි යනවා ගොඩාක් ඈත අතීතෙට..." 
"ශූස් ... දඩස්".. අපි හිටියේ මුහුදු වෙරළක.. නැවක් ඇවිත් කට්ටියක් බැහැල එනවා... 
"ඒ තමයි.. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්.. බුදු හාමුදුරුවන්ගේ කේශ ධාතුත් අරන් ඔය නැවෙන් බැහල එන්නේ.." භූතයා අපේ කුතුහලේ දැකලා කිව්වා..
"සාදු .. සාදු" 
"තව ටිකක් අනාගතේට යන්... ශූස් දඩස්!" 
ආයෙත් මුහුදු වෙරළක.. "ඔය නැවෙන් බැහල එන්නේ විජය කුමාරයා ඇතුළු පිරිස." 
"අඩේ අප්පා.. විජය කුමාරයගේ හැටි.. හෙන හොරෙක් වගේ..." යාළුවා කිව්වා..
"ඒක තමයි තාමත් අපේ රජවරු.. ආණ්ඩු කරන උන්දෙලා හොරා කන්නේ.. " හිච්චි කොලුවගේ ඉතින් කට කහනවනේ... 
දැන් ඔහොම ටික ටික ඉස්සරහට එනවා.... 
"ආන්න ඔය සෙනඟ බලාගෙන ඉන්නේ සංගමිත්තා තෙරණින් වහන්සේ ස්‍රී මහා බෝධියත් අරගෙන ලංකාවට වැඩම කරනකම්.. ඔය එන්නේ නැව.. " (ශූස් දඩස්)
"අපි දැන් ඉන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ.. අර හාල් පිට රට පටවන්නේ.." (ශූස් දඩස්)
"ඔය විජයබාහු රජුරුවො මුහුද දෙබෑ කරන් එන්නේ ඉන්දියාව එක්ක යුද්ධේ දිනලා.." (ශූස් දඩස්)
"ආන්න ඔය එන්නේ .. චීන අරබී වෙළන්දෝ.. මේ රටෙන් ගොඩක් දේවල් මිලට ගන්න.. " 
අපි තව ඉස්සරහට එනවා. (ශූස් දඩස්)  
"අර කවුද අර... ?"
"ආ .. ඔය පෘතිගීසි නැව .. ලොරොන්සෝ ද අල්මේදා.. ඔන්න ගොඩ බහිනවා.." 
"අඩේ... යන් තව ඉස්සරහට..." (ශූස් දඩස්)
"ඔය මිනිස්සු බලාගෙන ඉන්නේ ලන්දේසි එනකන්.. පෘතුගීසීන් එලව ගන්න.. " (ශූස් දඩස්)
"ආ දැන් ඔය මිනිස්සු බලාගෙන ඉන්නේ ඉන්ග්‍රීසින් එනකම් .. ලන්දේසි එලව ගන්න.." (ශූස් දඩස්)
"ආන්න.. ඔය සුද්දෝ ආපහු නැව් නගිනකම් බලන් ඉන්නේ.. " 
"කවුද අර ටයි කෝට් දාලා තොප්පි දාගෙන ඉන්න කට්ටිය..?" හිච්චි කොලුවා ඇහුවා.
"ඒ... සුද්දෝ යනකොට මේ රට බාර දීලා යන කළු සුද්දො ටිකනේ.." 
ඔහොම ඉතිහාසේ පුරාවට වෙච්ච දේවල් බල බල අපි ඉස්සරහට ආවා. ඇවිත් ආපහු වර්තමානෙට ආව. 
"ශහ්.. ඒකනම් මරු ගමන.. අනේ බූතයෝ.. අපි පොඩ්ඩක් ඉස්සරහටත් ගිහින් බලමුද.. නිකන් හෙට අනිද්ද වෙන්නේ මොකද වගේ?" යාළුවා කිව්වා.. 
"හරි යන්.. " (ශූස් දඩස්) අපි දවස් දෙක තුනකට ඉස්සරහට ගියා.. 
"මේ මොකද මේ.. ඇයි මේ මිනිස්සු මුහුද දිහා බලාගෙන ඉන්නේ..?"
"හහ් හහ් හහ්.. ආ ඔය තෙල් නැවක් එනකම්..." 
"තෙල් නැවක්? ඒ මොකද .. එහෙම අවුලක් තිබ්බේ නෑනේ.."
"හහ් හහ්... ලංකාවේ තෙල් වෙළඳපොල ඉන්දියාවට විකුණලා තියෙන හින්දා, ඉන්දියන් තෙල් සමාගම තෙල් නැවක් පොරොන්දු වෙච්ච විදියට එවන්නේ නැතුව, ලංකාවටම තෙල් නෑ.. භූතයෙක් වුනත් මටත් මේවා තේරෙනව ළමයිනේ.. ඉන්දියාවට පුළුවන් මුළු රටම අඩපණ කරන්න .."
"මේක මහ අපරාධයක් නේ.."
"මේ අපරාදේ වුනේ අදක ඊයෙක නෙමේ.. හැබැයි ඒක නැවතිලානම් නෑ.. යමු මම මීට වඩා හොඳ එකක් පෙන්වන්න.. "
(ශූස් දඩස්) අපි ගියා තව අවුරුදු 25 ක් විතර ඉස්සරහට..
මහ සෙනඟක් මුහුද දිහා බලාගෙන ඉන්නවා. 
"මේ මොකද .. මේත් තෙල් නැවක් එනකම් ද?"
"නෑ.." භූතයා දුකෙන් කිව්වා. 
"එහෙනම්.." 
"ඔය සතියක් තිස්සේ කන්න දෙයක් නැතුව ඉඳලා සහණාධාර නැවක් එනකම් බලන් ඉන්නේ.."
"ඇයි ? කොහොමද කන්න නැති වුනේ? රටේ නියඟයක්වත් ද?" 
"අපෝ නෑ.. ඒක තමයි නිදහසට පස්සේ මේ වෙනකම් මේ රට පාලනය කරපු පාලකයෝ අපි මේ ඉන්න දවස වෙනකොට මේ රට ගෙනල්ල තියෙන තැන.. රටින් එන කෑම ටික නැති වුනොත් මේ දූපතේ මිනිස්සු අනාතයි!.. හ්ම් තව ඉස්සරහට යනවද?"
"අනේ එපා.. තව මොනව දකින්න වෙයිද දන්නේ නෑ...  ඉක්මනට ආපහු යමු.."
(ශූස් දඩස්)

අය වැය හැදුවේ මෙහෙමයි



මුදල් ඇමතිතුමාගේ ගේ පැත්තෙන් පොඩි සිංදු කෑල්ලක් ඇහුණා. හිච්චි කොලුවත් කන් දීගෙන අහගෙන හිටියෙ...

"දෙන්නම් අද මම රට්ටුන්ට ..
හදනවා මංගල අය වැය.. 
ලස්සන වාක්‍ය පිරෙන්නට ..
වචනත් දානව ඇඬෙන්නට .. 
(ටිකක් මදි පිරෙන්න දානවා)

බියර් වලින් බදු අඩු කරලා..
බැංකු වලට බද්දක් ගහලා.. 
ඉඩම් ටිකත් සුද්දට දීලා..
(අපෙ අයටත් ඉඩමක් දීලා)
නෑ නෑ.. අපේ අයට නෑ... 
(අහ් .. නැද්ද?)

අළුතෙන් තව තව බදු ගහලා..
පිටරටකින් ණයකුත් ලැබිලා...
(ඔන්න ඔහෙ දෙකක්ම ඉල්ල ගන්නවා) 
කාබන් බද්දයි, වැට් බද්දයි..
උප්පැන්නයි, මරණෙයි, මඟුලයි.. 
ණය ගෙව්වත් එයටත් බද්දයි.. 
හදනවා පදමට හැඳි ගාලා..

හැදුවේ අය වැය අපි මෙහෙමයි.. 
"නීල හරිත" යැයි නම තිබ්බයි... 
රටේ සියල්ලම විකුණන් කයි..
කෙළ වෙන කොට අපි පැනලා යයි.. 
 සා... රී....ගා.................................................... සනිධප මග රීසා සා සා"

"ඔහ් පුතා මොනාද කන් දී ගෙන ඉන්නේ.." ඇමති තුමා දැකලා ඇහුවා..
"නෑ මම මේ සින්දුවක් ඇහිලා බැලුවා.. ලස්සන සින්දුව..." 
"ආ... මම මේ මංගල අය වැය හැදුවා ... බලන් ගියාම මේක හරි සරල වැඩේ.. ඔහේ මොනවා හරි දාන එක තමයි.. බදු ටික ඇරෙන්න අනිත් ඒවා කරන්නේත් නෑනේ ගොඩක් වෙලාවට .. " 
"දැන් ඇමතිතුමා .. මේ අය වැය ඔබ තුමා ඉදිරිපත් කලාට පස්සේ මිනිස්සු නිකන් මොන වගේ සින්දුවක් කියයිද?"
"ම්ම්.. මිනිස්සු කියයි... හොඳක් නෑ නරකකුත් නෑ .. මොකුත් නෑ මේ අය වැයේ.. හීන තිබුනට කෝටියක්.. මේකේ නෑ එක අබ මිටක් ... " ඇමතිතුමා එහෙම කිව්ව කියමුකෝ ඉතින්!

ඩිස්නිලන්තේ වීරකම



"මේ බලන්නකෝ පුතේ.. ඩිස්නිලන්තේ කියලා රටක අගමැති කෙනෙක් මහ බැංකු හොරකමකට කොමිසමකට ගිහිල්ලා සාක්කි දීලානේ..." තාත්තා පත්තරේ බලන ගමන් කිව්වා.. 
"ම්ම්.... " පොඩි අයියත් ඔළුව දැම්මා..
"මොනව වුනත් භය නැති අගමැති කෙනෙක්.." තාත්තා කිව්වා..
"ඔව්.. භයක් කියලා දෙයක් තිබ්බනම් මහ දවල් ඔහොම මහ බැංකුව කොල්ල කයියෑ" 
"මොකක්?" තාත්තා උඩ ගිහින් අයියා දිහා බැලුවා.. "අම්මපා .. ඒකත් හරි.. ඩිස්නිලන්තේ භය නැති කම අගමැති කමටත් වඩා ලොකුයි මට පේන්නේ.... "
"දැන් ඔය පත්තරේ තියෙනවද ඕක හොයන්න පත් කරපු කෝප් කමිටුවේ සෙට් එකක් චූදිතයෝ එක්ක දිගට හරහට දුරකතන සංවාද තිබිලා තියෙනවා කියලා?"
"කෝ බලන්න.. ආ.. ඔව් මේ තියෙන්නේ.. ඇත්තටම මොනවද එයාලා කතා කරන්න ඇත්තේ?" 
"නිකන් සැපදුක් වෙන්න ඇති... දැන් ඔතන එහෙම හොරකමක් වුනේ නෑ කියලා පොතකුත් ලියපු හාදයෙක් ඉඳලා තියෙනවනේ?"
"ඔව් ඔව්... මේ තියෙන්නේ.. හරි.."
"දැන් එයාගේ ටෙලිෆෝන් කෝල් තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ.. ඔන්න බලන්න.."
-------
එයා - හලෝ... ඇලෝ... කොහොමද.. මම මේ පොතක් ලියනවා .. ඔයා හොරකම් කලාද?
ඇලෝ - නෑ.. නෑ.. පිස්සුද?
එයා - ආ හරි.. තිබ්බා.. 
ආයේ දවසක්...
එයා - හලෝ... ඇලෝ... කොහොමද.. මම මේ පොතක් ලියනවා .. ඔයා හොරකම් කලාද?
ඇලෝ - නෑ.. නෑ.. පිස්සුද?
එයා - ආ හරි.. තිබ්බා..
ආයෙත් දවසක්...
එයා - හලෝ... ඇලෝ... කොහොමද.. මම මේ පොතක් ලියනවා .. ඔයා හොරකම් කලාද?
ඇලෝ - නෑ.. නෑ.. පිස්සුද?
එයා - ආ හරි.. තිබ්බා..  
---------
"ඔය වගේ 48 වතාවක් කතා කරලා ශුවර් කරගෙන හොරකම් කලේ නෑ කියලා... බලන්න කොච්චර සුන්දරද කියලා" පොඩි අයියා කිව්වා..
"ආ... ඒකත් එහෙමයි එතකොට නේ... "
"මොකද්ද ඔය රට කිව්වේ?" 
"ඩිස්නිලන්තේ කියලා එකක්.. යුරෝපේ පැත්තේ.."
"ආ.. එහෙත් එහෙමද....?"
"ඇයි මෙහෙත් එහෙමද?" තාත්තා කුතුහලෙන් ඇහුවා..
"නෑ... මෙහෙ එහෙම වෙන්නේ නෑ.. මෙහේ යහපාලනේ නේ.... අර නන්දා මලනීගේ සින්දුවක් තියෙන්නේ ..  
---  රැකෙයි අකුරට නීතිය .. දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වී ඇත
නැත අක්‍රමිකතා .. වැඩෙයි සුහදතා .. සුන්දරතා .. සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම් 
මේ කේතුමතී නුවරයි! ---  

කාළගුණ අණාවැකි



ඔන්න එකෝමත් එක රටක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලේ කතා බහක්..
"සර්.. සර්.. මාධ්‍යකින් කෝල් එකක්.."
"ආ.. කෝ.. හලෝ.. ආ .. ඔව් ඔව් .. කුණාටුවක්? හුළඟක්? මොන? විකාරද.. ඕවා බොරු කතා.. මොන හුළඟක්වත් නෑ හලෝ.. හරි.. හරි .. ආවොත් කියන්නම්.."
"සර්.. සර්.. එළියේ පුදුම හුළඟක් යනවා සර්.. ඒකනම් මාර සැරයි.."
"මළා.. ඉක්මනට මාධ්‍යට කියන්න ඕන. හලෝ.. ආ.. ඔව් ඔව්.. හුළඟක්.. ඔව් ඔව් ලොකු එකක්.. මොකක්ද? ආ.. වේගේ? ආ වේගේ......  ම්ම් පොඩ්ඩක් ඉන්න.. මේ ළමයා.. වේගේ බලන් එනවා ඉක්මනට..."
ටිකකින්..
"සර් .. වේගේ බලන්න බෑ සර්.. වේග මානේ ගහගෙන ගිහින්.."
"අප්පා.. හරි.. හලෝ.. හලෝ.. ආ ඔව් ඔව්.. මේ වේගේ කොහොමත් 80 ක් වගේ? ඔව්.. ඒ ගාන කියන්න.. හරි හරි.."
ටිකකින්.. 
"ළමයා.. ළමයා.. මොකෝ මේ ඇතුල තෙමෙන්නේ.. "
"සර්.. වහළේ කෑලි හුළඟට ගහගෙන ගිහින්.. සර් ලොකු වැස්සක් වගේ... "
"අප්පා .. වහිනවද ඒ පාර? ඉක්මනට මාධ්‍ය නිවේධනේ ලෑස්ති කරන්න... කෝ බලන්න.. වැහි වළාකුල ගොඩක් කළුයි නේ.. මිලිමීටර 100 ක් වහිනව කියමු.. නෑ.. එක්කො 150 ක් ම කියමු!"
"සර් වැස්ස ගහගෙන යනවා වගේ.. "
"අප්පා එහෙමද.. එහෙනම් මෙන්න මේ නිවේදනේ ලියා ගන්නවා.. මේක ඔක්කොම මීඩියා වලට යවනවා..."
--------------------
ඊට සුළු වේලාවකට පසු රූපවාහිනියෙන්...
"මෙන්න නවතම කාළගුණ අනාවැකිය. ඉදිරි පැය 24 තුළ උදේට හරි, හවසට හරි, දවල්ට හරි, රෑට හරි.. හෙමිහිට හරි.. හයියෙන් හරි.. 100 ක් හරි, 50ක් හරි, 150 ක් හරි, බස්නාහිරට හරි, දකුණට හරි, උතුරට හරි, ඌවට හරි, නැගෙනහිරට හරි කොහෙට හරි, වැසි ඇතුව හරි, නැතුව හරි තියෙනවා ඇත. මේ අතර හයියෙන් හරි හෙමීට හරි හුළං ඇතුව හරි, හුළං නැතුව හරි පවතිනවා ඇත. අකුණු මගින් සිදුවෙන අකුණු අනතුරු වලින් ප්‍රවේශම් වන්න. ස්තුතියි!" 
"මොකක්ද ඒ කිව්වේ.. දැන් වහිනවද නැද්ද? මොකක්ද ඒ අපභ්‍රංශේ?"
----------------------------
මේ අතර රජයේ කාර්‍යාලයක් ඇතුලේ...
"ලේකම් තුමා .. ආයේ ගං වතුරක් නේද?"
"ඔව් ඇමතිතුමා... "
"මරු ඕයි මේක.. හැම මාසේම මෙහෙම එකක් වෙනවනම් අපේ කල්ල මරේ! මේ පාර ඒන සල්ලි ටික ... දන්නවනේ ඉතින් කියන්න දෙයක් නෑනේ!"
----------------------------- 
ගං වතුරට අහුවෙච්ච කෙනෙක්...
"බලන්න දැන් මේක වෙලා දවස් දෙකක්.. තාම අඩු ගානේ වතුර උගුරක් දෙන්න ඔය නිළධාරියෙක් ආවේ නෑ!"
------------------------------
"අපි ඉන්නේ 2017. තාම තියෙන්නේ යල් පැන ගිය තාක්ෂණය. පරිසරය ගැන තැකීමක් නෑ. තිරසාර සංවර්ධනය නිකන්ම නිකම් බෝඩ් ලෑල්ලක්..    හැමදාම එකම කතාව. දැන් දැන් අවුරුද්දකට තුන් හතර සැරයක්. හයියෙන් වැස්සොත් ගං වතුර. පොඩ්ඩක් පෑව්වොත් නියඟේ.. නිතර නිතර වෙලත් තාම කිසිම විධිමත් ක්‍රමවේදයක් නෑ.. අඩු ගානේ අනතුරක් අඟවන්න.. මොනවද අප්ප මේ ඇමතිලා, අමාත්‍යංශ, රාජ්‍ය නිළධාරීන්, ආයතන එහෙම කොරන්නේ?" කියලා කවුරු හරි ඇහුවොත් ඒ රටේ මිනිස්සුන්ට වස ලැජ්ජාව..  නේ..?    

කඩුව

"ක්‍රාස්.. ක්‍රාස්.. කරාස්... කරාස්.. කෲස්... කෲස්...." එතුමාගේ ගෙවල් පැත්තෙන් යනකොට මොකක්දෝ සද්දයක් ඇහෙනව. ටිකක් අමුතු ස...